ගමනාගමන සේවකයින්ට උසස්වීම් - වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළකාලමින් අතුරු නියෝගයක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස්වීම් හා වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය අගෝස්තු 29 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම පෙත්සම් ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය, එම මණ්ඩලයේ සභාපතිවරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර වෘත්තීය සමිතිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ  ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම හේතුවෙන් තම සංගමයට පමණක් නොව සෙසු සේවකයින්ට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සම්මත පටිපාටියට පරිභාහිරව සිදුකෙරෙන උසස් කිරීම් හා වැටුප් වර්ධක ලබා දීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.