ගත වූ පැය 48 තුළ කොරෝනා ආසාදිතයින් 80 ක්


(ඉන්දිකා රාමනායක)

ගත වූ පැය 48 තුළ විදේශයන්හි සිට පැමිණි  පුද්ගලයන් 80 ක් කොරෝනා ආසාදිතයින් ලෙස හමු වී ඇති බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අප්‍රේල් 30 වැනිදින සිට මේ දක්වා සමාජය තුළින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින්  වාර්තා වී නොමැති බවත් විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශිකයින්ගෙන් කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාව තුළට පැමිණ ඇති බව පෙනී යන බවත් හමුදාපතිවරයා කියා සිටියේය.

මෙවන් අවස්ථාවක කොවිඩ් 19 වයිරසයට ගොදුරු නොවී සිටීමට සෑම පුරවැසියෙක්ම තම සමාජ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වයිරසය විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශමත් රටක් වශයෙන් ලෝකයට පෙන්වාදී ඇති බවත් එවැනි අවදියක අප විසින් තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය , නිතර නිතර අත්සේදීම සහ කිවිසුම් යන විට රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණු වලට අනුගත විය යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

පාසල් වල සියලුම පන්ති ආරම්භ කිරීමත් සමඟ විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් මේ සම්බන්ධයෙන්  පාසල් ළමුන් දැනුවත් කර පාසල තුළ සහ ඉන් පිටතදී සෞඛ්‍ය  උපදෙස් පිළිපැදීම අනිවාර්ය අංගයක් සේ සලකා කටයුතු කළ යුතු බවද  හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.