ගණදෙවි දේවාලය නිරාවි පිල්ලයාර් කෝවිල වෙයි


(සිතුම් චතුරංග රොමේෂ් මධුෂංඛ )
 
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ ගණදෙවි දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල යනුවෙන් නම්කරන ලෙස මුලතිව් මහෙස්ත‍්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා අද (06) නියෝග කළේය.
 
නයාරු ගුරුකන්ද පුරාණ රජමහ විහාර ස්ථානය වෙත ඇතුළුවී අනවසරයෙන් කැණීම් සිදුකිරීම හා දෙපාර්ශවයක් අතර සාමය කඩවීම සම්බන්ධව මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් මහෙස්ත‍්‍රාත්වරයා ගුරුකන්ද විහාරයේ විහාරාධිපති හිමි වෙත මෙම නියෝගය නිකුත් කළේය.
 
ජාතීන් අතර පවතින සමානාත්මතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කරන බව මහෙස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසීය.
 
පසුගිය ජනවාරි (14) තෛයිපොංගල් සැමරීමට පැමිණි බව අගවමින් මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය වෙත පැමිණ විහාර භූමියේ හින්දු කෝවිලක් ඉදිකිරීමට මුල්ගල තැබීමට පැමිණි දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශිය දේශපාලඥයින් පිරිසක් ඇතුළු ප‍්‍රදේශවාසීන් කිහිපදෙනකු විහාර භූමියේ නොසන්සුන්ව හැසිරීමෙන්  පාර්ශව දෙකක් අතර සාමය කඩවීමේ තර්ජනයක් ඇති බවට මුලතිව් පොලිසිය විසින් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 80 වැනි වගන්තිය යටතේ මෙම නඩුව ගොනුකර  තිබිණි.

 
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥය රෝහණ තල්පාවිල මහතා විවෘත අධිකරණයේදී අදහස් දක්වමින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ නඩුතීන්දුව පිළිබද නැවත සලකා බලන ලෙසත් නඩුවේදී අනාවරණයවූ කරුණු පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටියේය.
 
අදාළ කරුණු අනුව නඩු තින්දුව ලබාදී ඇති බව මහෙස්ත‍්‍රාත්වරයා එහිදී පැවසීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුරුකන්ද විහාරස්ථානය පිළිබඳ අධිකරණයේ කරුණු දක්වමින් පවසා මුලතිව් ගුරුකන්ද රජමහ විහාරස්ථානය පැරණි බෞද්ධ සංඝාවාසයක් වන අතර ඒ අනුව මසේත‍්‍රාත්වරයා දුන් තීන්දුවට ගරුකරන බවත් එහි සඳහන් කරුණු පිළිබඳ එකඟ නොවන අතර නඩු තීන්දුව සම්බන්ධව ප‍්‍රතිශෝදන ඉල්ලීමක් කරමින් වවුනියාව මහධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිඥය රෝහණ තල්පාවිල මහතා පැවසීය.