(ඩයනා උදයංගනී)
රජය විසින් තෝරාගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පා ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නිලධාරීන් හෙට (9) දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පරිපාලන නිලධාරීන්ට මෙලෙස වැටුප් හා දීමනා වැඩිකර එම දීමනාවන්ට ද අදාළව විශ‍්‍රාම වැටුප් ද සකස් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙහි නිරත වන බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඇන්ටන් පෙරේරා මහතා පැවසීය.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, ගණකාධිකාරී සේවා සංගමය, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් පොදු සේවා සංගමය ඇතුළු සංගම් කිහිපයක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සඳහා එක්ව සිටින බව ද ඇන්ටන් පෙරේරා මහතා සඳහන් කළේය.
මෙම ලෙඩ නිවාඩු දැමීමේ ක‍්‍රියාමාර්ගයට අමතරව හෙට (9) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වන බව ඔහු සඳහන් කළේය.
ප‍්‍රධාන ලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඞී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු කාර්යාලයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

