(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ පනහකට අලෙවි කිරීම සඳහා පැමිණි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ දී අද (5) ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඔවුන් ගජමුතු දෙකක් ළඟ තබා ගෙන රුපියල් කෝටියක මුදලකට විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ඒ.සමන් මහතා උපාය දූතයකු යොදවා අදාළ ගජමුතු මිලදී ගැනීමේ මුවාවෙන් පරික්ෂා කර තිබේ.
එහිදී පොලීසිය වෙත ලැබුණු තොරතුරු සත්‍යය බවට තහවුරු කරගෙන රුපියල් ලක්ෂ පනහකට ගජමුතු මිලදී ගැනීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත.
ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මුදල් ලබා දී ගජමුතු ලබා ගැනීමේ මුවාවෙන් ගොස් සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට ගත් ගජමුතු දෙකේ සත්‍යයතාවය සොයා ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවක් කැඳවීමට නියමිතව තිබිණි.
සැකකරුවන් දෙදෙනා මාතර කැකණදුර හා නාවිමන පදිංචි 38 හා 33යන වයසේ පසුවන්නෝ වෙති.