ගජමුතු අලෙවි කළ තිදෙනා රිමාන්ඩ්


 

 

 

චන්දන ප්‍රනාන්දු සහ රවින්ද්‍ර ලියනගේ                                      

                                                                           

මිල කළ නොහැකි ගජමුතු 3 ක් රුපියල් ලක්ෂ 30 ට අලෙවි කිරිමට වෑන් රථයකින් ගෙන  එමින් සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙකු  දන්කොටුව නගරයේ දී අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (2) දක්වා  රිමාන්ඩ් කිරිමට  මාරවිල  වැඩබලන මහේස්ත්‍රාත් හේරත් ජයසිංහ මහතා නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ මොරවැව මහදිවුල්වැව පදිංචි බෝගහවැව 5 වැනි ගජබා රෙජිමේන්තු කඳවුරේ  ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කරන කේ.සමන් කුමාර මුණසිංහ, එම කඳවුරේම සේවය කරන කෝප්‍රල්වරයකු වන ගිරිඋල්ල මරඳගොල්ලේ පදිංචි ඒ ඒ මංගල චන්දන නැමති අයෙක් හා මොරවැව පදිංචි ගෝමරන්කඩවල ගැමුණුපුර උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක සෙබළෙකු වන ඩී සුමනසිරි දිසානායක නැමති තිදෙනෙකි.

සැකකරුවන් ළඟ තිබි සොයා ගත් ගජමුතු සම්බන්ධයෙන් තුරුලතා හා වෘක්ෂලතා ආඥා පනතට අනුව වනජීවී දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට ද අධිකරණය නියෝග කර ඇත.       

සැකකරුවන් මොරවැව ප්‍රදේශයේ කැළෑවක තණකොළ කැපීමට ගිය අවස්ථාවේ මැරි සිටි ඇතෙකුගෙන් මෙම ගජමුතු ලබාගත් බවත් තවත් අයෙක් නිධානයකින් මෙම ගජමුතු ලැබුණු බවටත් පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ සැකකරුවන් පරස්පර කතා පැවසීම හේතුවෙන් මෙම ගජමුතු සැකකරුවන්ට ලැබුණු ආකාරය සෙවීමට වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව පොලිසිය කියයි.