ගංවතුරේ වැඩ දැමූ චරිත්මාට මැතිසබයෙනුත් මල් මිටක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගංවතුරට හසුවූ පාදුක්ක  වග ප්‍රදේශයේ  අඹුසැමි යුවළක් බේරා ගනිමින් වීර ක්‍රියාවක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉටිපේ දියණියට මැතිසබයේ ගෞරවය ප්‍රණාමය පුද කළ යුතු බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

පාදුක්ක සිරි පියරතන  විදුහලේ 17 හැවිරිදි මෙම දැරියගේ සියලුම දේ ගංවතුරෙන් අහිමි වී ඇති හෙයින් ඇයට  ජනාධිපති අරමුදලෙන් යම් ආධාරයක් කරන්නැයි  ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

ඇය එකවර ජීවිත දෙකක් බේරගත්තා යැයිද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේ පැවසීය.

සිරි පියරතන විදුහලේ  චරිත්මා සිසුවියගේ ක්‍රියාව මාධ්‍ය මඟින් වාර්තා කරලා තිබුණා. සිරි පියරතන විදුහල  බස්නාහිර පළාතේ පාසලක්. මමත් ඒ සිසුවිය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව දැනුම් දෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි  මහතා මෙසේ පැවසීය.

පාදුක්ක මගේ ප්‍රදේශය. ඒ දියණිය විශාල වීර ක්‍රියාවක් කරලා තියෙන්නේ. පිරිමියෙක් වත් කරන්නැති වැඩක්. දියණියට ඇගැයීමක් කරන්න විදුහල්පතිතුමා දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා.