ගං වතුර පහව ගියත් 1853 ක් තවමත් අවතැන්


ඩයනා උදයංගනී
       
දිවයිනේ දිස්ත‍්‍රික්ක රැසකට පසුගිය දිනවල බලපා තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතත් දිස්ත‍්‍රික්ක 7ක පවුල් 540කට අයත් 1,853 දෙනෙකු තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
       

එම පිරිස ආරක්‍ෂිත ස්ථාන 32ක රඳවනු ලැබ සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
       
ප‍්‍රධාන ගංගා සියල්ලෙහි ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත් පහත්බිම් තවමත් ජලයෙන් යටවී තිබීම, නිවාස විනාශ වී තිබීම, නායයෑම් අනතුරු හේතුවෙන් නිවෙස්වලින් ඉවත් කිරීම, ජලයෙන් යටවී අපිරිසිදු වූ නිවාස පිරිසිදු කිරීම අවසන් නොවීම ආදිය හේතුවෙන් මෙම පිරිස තවමත්  අවතැන්ව සිටින බව කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
       
පසුගිය දිනවල ඇති වූ තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දියෙහි ගිලීමෙන්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස් අතු කඩාවැටීම් වලින් මරණ 26ක් ද සිදුවිය.
       
සිදුවූ විවිධ අනතුරුවලින් 24 දෙනෙකු තුවාල ලැබූ බවද කොඩිප්පිලි මහතා සඳහන් කළේය. 
       
එම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 157කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 6,664 කට අර්ධ හානි සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.
       
මේ අතරින් තවමත් වැඩිම පිරිසක් අවතැන්ව සිටින්නේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ වන අතර එම දිස්ත‍්‍රික්කයේ පවුල් 258කට අයත් 841දෙනෙක් තවමත් අවතැන්ව සිටිති.
       
ඊට අමතරව නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 152කට අයත් 495 දෙනෙක්, කොළඹ දිස්ත‍්‍රික්කයේ ද පවුල් 56කට අයත් 212දෙනෙක්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 26කට අයත් 132දෙනෙක්, ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් 21කට අයත් 79දෙනෙක්, කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 18කට අයත් 49දෙනෙක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 9කට අයත් 45 දෙනෙක් ද මෙලෙස අවතැන්ව සිටිති.
       
මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබාදීමේ මෙන්ම හානි වූ දේපල තක්සේරු කර වන්දි ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
       
අවතැන්ව සිටින්නන් සඳහා පිසූ ආහාර පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති බව ද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.