කෝපා සමෘද්ධියට දෙහි කපයි


(සුජිත් හේවාජුලිගේ)

විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතාවල නිරත වූ සමෘද්ධි සංවර්ධන  නිලධාරීන් පිරිසකට  දඬුවම් ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කළේය.

මේ අතර සමෘද්ධි ප්‍රතිලාභීන් රැක ගැනීමට වහාම වැඩපිළිවෙළක් සකස් කරන ලෙස  කාරක සභාව එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 10 වැනිදා රැස්විය. කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ  සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන් පිරිසකට ජීවනෝපාය සඳහා මාළු දැල් ලබාදීමේදී සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කමිටුවේ දැඩි අවධානය යොමුවිය.

ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.

එම සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

එම විෂමාචාර ක්‍රියාවන්හි නිරත වූ නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පැවසුවේ දෙපාර්තමේන්තුවේ නවකාර්යමණ්ඩලය සඳහා අනුමැතිය ලැබී ඇති බවයි.

මෙම රැස්වීමට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක,ජේසි අලවතුවල, අශෝක් අබේසිංහ, ඩී වීරසිංහ, මේජර් ප්‍රදීප් උඳුගොඩ  වීරසුමන වීරසිංහ, සිවඥානම්  සිරිතරන්, මංජුලා දිසානායක සහ ආචාර්ය හරිනි අමරසූරිය  යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.