කෝටි හයහමාරක එතනෝල් අල්ලයි


(මහින්ද නිශ්ශංක)

ආනයනය කරන ලද රුපියල් කෝටි හය හමාරක් පමණ වටිනා එතනෝල් ලීටර 10000 ක් අඩංගු බැරල් 50 ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනිස් පරිභෝජනය සඳහා සුදුසු නොවන බවට රජයේ රස පරික්ෂකවරයා විසින් සහතික කර ඇති මෙම එතනෝල් තොගය අරක්කු නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට ගබඩාකර තිබියදී මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක ඒ.ආර්. ලැම්බට් මහතා පැවසීය.

විශේෂ අපරාධ ඒකකයට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු මාර්ගයෙන් ඇනවුම් කරන ලදුව ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී එතනෝල් බැරල් 15 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවීමෙන් පසුව  මාකඳුර ප්‍රදේශයේදී එතනෝල් තොගය අඩංගු කන්ටේනරය සොයා ගැනීමට හැකිවූ බව ඒ මහතා කීය.

ඇණවුම් කරන ලද එතනෝල් බැරල් 15 ක් ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයට ගෙනවිත් දීමට පැමිණි මාකඳුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව පන්නල, මාකඳුර ප්‍රදේශයේ නිවසක රථගාලක නවතා තිබූ ඉතිරි බැරල් 35 අඩංගු කන්ටේනරය අත්අඩංගුවට ගත් අතර අනතුරුව නිවසේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම එතනෝල් කන්ටේනරය රේගු වෙන්දේසියකින් මිලදී ගත් බව එම ව්‍යාපාරිකයා රේගුවට ප්‍රකාශ කර තිබේ.
කර්මාන්ත නිෂ්පාදන සඳහා පමණක් සුදුසු බවටත් මිනිස් පරිභෝජනය සඳහා සුදුසු නොමැති බවටත් රජයේ රස පරික්ෂක විසින් සහතික කර තිබෙන මෙම එතනෝල් තොගය අරක්කු නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව එම ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින්ගේ තොරතුරුවලින් අනාවරණය වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්. සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන කාර්යාලයේ විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්. ලැම්බට් මහතාගේ මෙහෙයවීම යටතේ සුරාබදු පරික්ෂක අකිල රත්නවිමල, නියාමකවරුන් වන ආර්.එම්.එස්. ජයවර්ධන (1049), ජේ.ආර්.වී ගුණරත්න (1141) හා සුරාබදු රියදුරු අසංක යන මහත්වරු මෙම එතනෝල් තොගය සමග පුද්ගලයින් හතරදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

එතනෝල් තොගය සමග අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් හතරදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 26 දා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කෙරිණි.