කෝටි පහක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තය ඔස්සේ විදේශ ගත කිරීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු  අද (05) අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.                   

කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක සේවය කරන 43 හැවිරිදි පුද්ගලයෙකු  තම ඉන ප්‍රදේශයේ වටා විශේෂිත පටි යොදා ගෙන මෙම රත්තරන් තොගය සංක්‍රමණික මගී පර්යන්තයේ ඇති වැසිකිලියක් තුළට රැගෙන ගොස් තිබේ .             

එහිදී  සිංගප්පූරුව බලා පැමිණි සහ පිටත්ව යෑමේ අදහසින් එම පර්යන්තයේම රැදී සිටි ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු ද  එම වැසිකිලිය තුළට ඇතුළු වී තිබේ .              

ඉන්පසු මෙම රත්තරන් තොගය එම වැසිකිලිය තුළ දී හුවමාරු වන විටම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි .            

මේ සඳහා කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගෙන්ද අවශ්‍ය තොරතුරු රේගු නිලධාරීන් වෙත ලැබී තිබුණි .                   

මෙසේ අත් අඩංගුවට ගත් රත්තරන් තොගයේ ග්රෑම් 100 බැගින් වූ රත්තරන් කුට්ටි 61 ක් තිබූ අතර , කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 100 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබුණි . ඒ අනුව මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ ග්රෑම් 07 යි ග්රෑම් 200 ක් බව රේගුව පවසයි .