කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ වසර තුනක විමර්ශනයකින්


සුජිත් හේවාජුලිගේ
 
අල්ලස් ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අල්ලස් කොමිසම වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කළ දීර්ඝ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

 
පැමිණිලිකාර ඉන්දීය සමාගම මේ පිළිබඳ පැමිණිල්ල අල්ලස් කොමිසමට මුලින්ම කර ඇත්තේ 2015 වර්ෂයේදී යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අතර කන්තලේ සීනි සමාගම පෞද්ගලික සමාගමකට පැවැරීමේ කටයුත්තේදී ද බරපතළ අක්‍රමිකතා සිදුවී තිබෙන බවට විමර්ශන අංශවලට පැමිණිලි ගණනාවක් ලැබී තිබිණැයි කියති.
 
රුපියල් කෝටි දෙකේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි කේ මහානාම මහතා මෙම තනතුරට පත්ව පැමිණ ඇත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මීට කළින් ඔහු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ අතර ලේකම් ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් පත්ව ඇත.