කෝටි තුනේ රන් බිස්කට් හොරෙන් ගෙනයන්න බැරිවේ


රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 75 ක් නීති විරෝධී ලෙස ගුවන් තොටුපොළෙන් පිටකිරීමට  උත්සහ කළ ගුවන් සමාගමක  සේවකයෝ දෙදෙනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද  අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවන්ගෙන් එක් අයෙකු ප්‍රසිද්ධ ගුවන් සමාගමක ගුවන් යානා කාර්ය මණ්ඩල නිලධාරියෙක්  වන බවත්   අනෙකා එම ගුවන් සමාගමේම  රියදුරෙක් බවත් රේගුව කියයි.

අත් අඩංගුවට ගත් රන් බිස්කට්වල බර කිලෝ ග්‍රෑම් හත හමාරකි.

මෙම බිස්කට් තොගය අද  අළුයම 1.30 ට පමණ සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි  එමිරේට්ස් ගුවන් සේවයට අයත්   ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් පැමිණි  කිසියම් ගුවන් මගියෙකු මෙරටට ගෙනවිත් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත. පසුව ගුවන්තොටුපොළෙන් පිටතට පහසුවෙන් ගෙන යාම සඳහා ගුවන් යානා අංගනයේදී  සැකකාර ගුවන් සමාගම් කාර්ය මන්ඩල සේවකකයා විසින්  රන් බිස්කට් සහිත පාර්සල් ලබාගෙන ඇති බවට  රේගුව සැකකරයි.

සැකකරු මෙම බිස්කට් තොගය රියදුරා සමගක් එක්ව ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යාමට උත්සහ කරද්දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ මුලික  විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතා ඇතුළු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදුකිරීමෙන් අනතුරුව  වැඩිදුර විමරශණ කටයුතු සඳහා සැකකරුවන්  සහ රන්  බිස්කට් රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දීමට නියමිතව තිබිණි.