කෝටි තුනක දුම්වැටි තොගයක් විනාශ කරයි


(ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් 3,50,00,000 වටිනා දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු විමර්ශනවලින් පසුව අද(19)  කොළඹ - 14  දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම දුම්වැටි තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි වරායේ සිට  මෝගරල් නැමැති නැවෙන් 2019 වසරේදී ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ලෙස හදුන්වමින් කොළඹ වරායට ගෙනැවිත් තිබුණි.මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ ව්‍යාජ  සමාගමක් මගින් මෙරටට ආනයනය කර තිබී ඇතැයි හෙළි වී ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අවධානම් කළමනාකරණ ඒකකය මගින් සිදු කර තිබුණි.

මෙම දුම්වැටි විනාශ කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය , රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න යන මහත්වරු ඇතුළු රේගු නිලධාරීහු පිරිසක් ද පැමිණ සිටියහ.