කෝටි ගණනක් වැයකර ගෙනා ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය හරවා යවයි


(ඩයනා උදයංගනී)
 
වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ අරමුණින් 2011 දී පමණ රුපියල් කෝටි ගණනක් වියදම් කර ගොංගලකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය භාවිතයට පෙරම ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මේ වන විට නිෂ්පාදිත ඇමෙරිකානු සමාගමටම යවා තිබේ.

 
එම උපකරණය අලුත්වැඩියා කිරීම ඵලදායී ක්‍රියාවක්ද යන්න ගැන සොයාබලන්නට සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවසීය.
 
මෙය ස්ථාපිත කරන අතරවාරයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස අලුත්වැඩියාවට යවා ඇතත් වර්තමානයේ පවතින නව තාක්‍ෂණික ක්‍රම අනුව මෙවන් වසර ගණනක් පැරණි පද්ධතියක් නවීකරණයට වියදම් කළ යුතුද යන්න ගැටලුවක් බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.
 
වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කළ හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ජපන් ආධාර යටතේ මෙරටට ලැබෙන අතර ඒවා 2020 වසර වන විට පොතුවිල් සහ පුත්තලම දිස්ත්‍රික්කවල ස්ථාපිත කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
 
කෙසේ වෙතත් දැනට අලුත්වැඩියාවට යවා ඇති පද්ධතිය එක් වරක් හෝ භාවිතයට ගැනීමට නොහැකි වූ බව ඒ මහතා කීවේය.
 
කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
එයට වැය කළ මුදල් ගඟේ ගොස් තිබෙනවා නේද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද පැවසුවේ සිදුවී ඇත්තේ එවැන්නක් බවයි.