කෝටි එක හමාරක රට සල්ලි පස්සෙන් එළියට


රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සිරුරේ සඟවාගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ඉන්දියා ජාතික රෙදි වෙළෙන්දන් තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ. පන්සියයේ යෝරෝ නෝට්ටු ද ස්විස් ෆ්‍රෑන්ක් නෝට්ටු ද එහි විය. නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන මහතාට ඇලුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන රේගු අධ්‍යක්ෂ තිලක් පෙරේරා මහතාගේ උපදෙස් පිට රේගු අදිකාරී එස් පී අයි බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන යූ අයි විජේපාල, මාලිංග ප්‍රේමදාස, ඩී සී සිරිසේන, ආර් ටී එන් ධර්මසේන, එස් කේ අබේවර්ධන, එල් එම් කුමාරපේලි සහ පී බී එන් ජී ද සිල්වා මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා දඩ නියම කර මුදල් රාජසන්තක කළේය.