කෝටි 9420 මුදල් නෝට්ටු 2017 දී විනාශ කරලා


සුජිත් හේවාජුලිගේ
 
බලි කුරුටු ඇඳි , විකෘති කෙරුණු මුදල් නෝට්ටු  දාහත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගිය වසරේදී විනාශ කරන ලදැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.

 
විනාශ කරන ලද මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් කෝටි 9420කි. විකෘති කෙරුණු මුදල් නෝට්ටු වෙනුවට ව්‍යවහාර මුදල් නෝට්ටු ජනතාවට විධිමත්ව සැපයීම තහවුරු කිරීමේ අරමුණින් මෙසේ විනාශ කරන ලද බවත් විකෘති කෙරුණු මෙම මුදල් නෝට්ටු බලපත්‍රලාභි වාණිජ බැංකු විසින් තැන්පත් කරනු ලැබ තිබූ බවත් මහ බැංකු වාර්තාවේ දැක්වෙයි.
 
විකෘති කෙරුණු මුදල් නෝට්ටු විනාශ කිරීම ශ්‍රිලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව නොකඩවා කරන බවද මහ බැංකුව පවසයි.
 
ගිය වසරේ විනාශ කරන ලද මුදල් නෝට්ටු වෙනුවට රුපියල් කෝටි 50,460ක් වටිනා ව්‍යවහාර මුදල් නෝට්ටු තිස් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ දහසක් අලුතින් නිකුත් කර ඇතැයි කියන මහ බැංකු වාර්තාව සිතාමතා විකෘති කරන ලද , හානි කරන ලද හෝ වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පැවතීම සැලකිල්ලට ගත යුතු බවද මහ බැංකුව කියයි.