( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පොදු දේපළ පනත යටතේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 5 ක මුදලක් දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක රවී විද්‍යාලංකාර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.
ගොනු කළ පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
කැරම්බෝඩ් මිළදී ගැනීමේ දී රජයේ මුදල් අවභාවිත කරන ලදැයි චෝදනා කරමින් පැමිණිලිකරු පොදු දේපළ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරිය බව පැමිණිලිකරු කියා සිටී.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුව මුදා හරිනු ලැබීය. ඒ අවස්ථාවේදී මෙම සිද්ධිය පොදු දේපළ පනතට නොවැටෙන බව අධිකරණයෙන් ප‍්‍රකාශ කර ඇත.
එසේ තිබියදී තමන් එම කරුණ යටතේ අත්අඩංගුවට ගැනීමෙන් තම කීර්තිනාමයට හානී සිදු වී ඇතැයි පැමිණිලිකරු කියා සිටී.
එබැවින් ඊට වන්දි හැටියට රුපියල් කෝටි පහක වන්දි මුදලක් වගඋත්තරුවන්ගෙන් අයකර ලබා දෙන ලෙසද පැමිණිලිකරුවන් සිට පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.