කෝටි 232,500ක චීන අයෝජන ලංකාවේ


(හර්ෂණ තුෂාර සිල්වා)

ඉකුත් වසර අවසන් වනවිට චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා කොළඹදී අද (23) ප්‍රකාශ කළේය. 

“සහශ්‍රයේ සිට  නව යුගයකට - ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” යන මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමුළුවේදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා එම කරුණු පැවැසීය.

පසුගිය 2017 වසර අවසන් වනවිට චීන සමාගම් ප්‍රවාහන, ජල, විදුලිබල, වරාය සහ තවත් ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව තුළ  එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි සමුළුවේ මුඛ්‍ය දේශනය කරමින් මෙරට චීන තානාපතිවරයා කීය.

කොළඹ චීන තානාපති කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්විණි. 

එහිදි තවදුරටත් අදහස් දැක්වූ චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවත් චීනයත් අතර ආර්ථික, සංස්කෘතික සබඳතා වසර සිය දහස් ගණනක් ඈතට යනවා. සාමය, සංවර්ධනය සහ එකිනෙකාගේ යහපත උදෙසා එකිනෙකාගේ අවබෝධය ඇතිව ශ්‍රී ලංකාව සහ චීනය එක්ව කටයුතු කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවට ජාතික සංවර්ධනය උදෙසා අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවකදී චීනය ශ්‍රී ලංකාවට උපකාර කරනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක. ඒ වගේම ශ්‍රී ලංකාව පුළුල් සංවර්ධන අවස්ථාවක් සහ අනාගතයක් තිබෙනවා. ජාතික වර්ධනය, ජාතික සංවර්ධනය, වාර්ගික සමගිය, ආගමික සහයෝගීතාව යනාදි ශ්‍රී ලාංකික සිහිනයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව සතු වෙනවා. එම සිහිනය චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සමඟින් හොඳින් පෑහෙනවා. මානව වර්ගයාගේ පොදු යහපත උදෙසා අප සියලු දෙනාට එක්ව වැඩ කළ හැකියි. ශ්‍රී ලංකාව චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ වැදගත් පාර්ශවකරුවෙක්”. 


ඡායාරූප චතුර එස් කොඩිකාර