කොළොන්න ප්‍රා.සබේ නව සභාපතිට විරෝධය


(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ පී.ආර්. ගමගේ)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලෙස නම් කළ රූපසේන තලවත්තගේ මහතා සභාපතිධූරයේ වැඩ බාරගනිද්දී එම සභාපතිධූරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයගත්  උපසභාපති  ලෙස නම්කර ඇති රාජපක්‍ෂගේ ඉඳුනිල් දර්ශන මහතාට දෙන්නැයි ඉල්ලමින් සියයකට ආසන්න  පාක්ෂිකයෝ පිරිසක් ප‍්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට අද (02)  විරෝධතාවක් පැවැත්වුහ.

සභාපතිවරයා වැඩ බාර ගැනීම කළ කොළොන්න ප‍්‍රාදේශීය සභා භූමියට ඇතුළුවීමට විරෝධතාකරුවන්ට ඉඩ නොදීමට පොලීසිය ආරක්‍ෂාව යොදා තිබුණි. 

විරෝධතාවේ නිරත පිරිස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ රත්නපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට දොස් තැබීය.

ඕමල්පේ, දොරපනේ ආදී ප‍්‍රදේශවල ජනතාව විරෝධතාවට එක්ව සිටියහ.

එහෙත් විරෝධතාකරුවන් සභාපති තනතුර දෙන්නැයි ඉල්ලා සිටි උප සභාපති ලෙස නම්කර තිබූ රාජපක්‍ෂගේ ඉඳුනිල් රාජපක්‍ෂ මහතා විරෝධතාවට එක්ව නොසිටියේය. සභාපතිවරයා වැඩ බාරගන්නා උත්සවයට ද ඔහු පැමිණ සිටියේ නැත.