කොළඹ විපක්ෂ නායක ධූරය ශ්‍රීලනිපයේ මන්සිල්ට


(ආරියරත්න රණබාහු)

කොළඹ මහ නගර සභා සභාවේ විපක්ෂ නායක ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී එම්.එච් මන්සිල් මහතා පත්ව ඇත. නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත.

විපක්ෂනායක ධූරය ඉල්ලුම් කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අජන්ත ලියනගේ මහතාට මන්ත්‍රීවරුන් 25 දෙනෙකු සහය පළකර ඇති අතර ශ්‍රීලනිපයේ  නාගරික මන්ත්‍රී එම්.එච් මන්සිල් මහතාට මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සහය පළ කර ඇත.

ඔවුන්  දෙදෙනාම තමන්ට සහය පළකර ඇති මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛන නගරාධිපතිනිය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහය ලබා ගෙන ඇති මන්සිල් මන්ත්‍රීවරයා විපක්ෂනායක ලෙස නගරාධිපතිනිය පිළිගෙන ඇත.

කොළඹ මහ නගර සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 119කි.ඉන් මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ වන අතර 59 දෙනෙක් වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරති.

විපක්ෂයේ  එම මන්ත්‍රීවරු අතර ඇමැති මනෝගනේෂන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක්ද වෙති.ජනතා විමුක්ති පෙරමුණෙන් පත්වී ඇති නාගරික මන්ත්‍රීවරු 6 දෙනා මින් කිසිදු ලැයිස්තුවකට අත්සන් කර නැත.

මෙම කරුණු අනාවරණය කෙරුණේ අද (2) කොළඹ 10 ටී.බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ සඳහා කොළඹ මහ නගර සභාවේ නව විපක්ෂ නායක එම්.එච්.මන්සිල් මහතා සමඟ නාගරික මන්ත්‍රීවරුන් වන සරත් අබේගුණවර්ධන , දීපානි ඉදිරිසිංහ සහ ගීතා මද්දුමගේ යන මහත්ම  මහත්මීහු එක්ව සිටියහ.