
(යොහාන් භාසුර සහ ශාන්ත පී බණ්ඩාර)
නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.
කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානමකට පත්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥායින් කණ්ඩායමක් පෙන්වාදීමෙන් පසුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර පාර වසා දැමීමට තීරණය කර තිබේ.
එම මාර්ගය භාවිත කරන පුද්ගලයන් සහ වාහන විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවන අතර නායයෑමේ අවදානමට පිළිබඳව ඒ සම්බන්ධ ආයතනවලින් සහ විශේෂඥායින්ගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට නියමිතය.
(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹට සහ මහනුවරට ළගා වීමට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.
කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවරට, කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගලින් ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවරට, මාවනැල්ල සිට රඹුක්කන - හතරලියැද්ද - ගලගෙදර සහ කටුගස්තොට හරහා මහනුවරට සහ මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල - පේරාදෙණිය හරහා මහනුවරට යන විකල්ප මාර්ග හරහා පැමිණිය හැකිය.
මහනුවර සිට කොළඹට පැමිණෙන රථවාහනවලට කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹට, කටුගස්තොට - ගලගෙදර - රඹුක්කනට හරහා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹට විකල්ප මාර්ග භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පැවසීය.

