කොළඹ නගරාධිපති මුසම්මිල් ඡන්දයදා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. නගරාධිපති මුසම්මිල් සමග රනිල් වික්‍රමසිංහ අගමැතිද ඡන්දය දැමීමට එහි ගියේය.
මුසම්මිල් තම නගරාධිපති හැඳුනුම්පත ඉදිරිපත් කළේය. නමුත් එහි සිටි නිලධරයන් කීවේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය යන තුනෙන් එකක් අවශ්‍ය බවය.
‘මමත් මගේ ගමන් බලපත්‍රයත් ගෙනාවා. හදිසියක් වුනොත් පෙන්නන්න.‘ ඒ අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුසම්මිල්ට කීවේය. මුසම්මිල් ගෙදර ගියේය. ගමන් බලපත්‍රය රැගෙන ආවේය. ඡන්දය දුන්නේය.
කොළඹ නගරයේ පළමුවැනි පුරවැසියාට ඇතිවූ පළමු තිගැස්ම එය නොවේ. අගෝස්තු 14 වැනිදා ජුම්මා යාඥාවේදී ඔහු තවත් කම්පනයකට ලක්විය. එහි ඉමාම්වරයා මුසාම්මිල්ට කීවේ මුස්ලිම් කතුන් ඡන්දවලට තරග නොකළ යුතු බවයි. ඒක හරාම්. නැත්නම් තහනම්. තවත් මුස්ලිම් කණ්ඩායම්ද ඉමාම්ගේ කථාව අනුමත කළ බව පෙනිණි. මුසම්මිල්ගේ බිරිය ෆෙරෝසා කොළඹ දිස්ත්‍රික්කයට එජාපයෙන් තරග කළාය. ‘මේ ඔක්කොම දුෂ්ට ප්‍රචාර‘ මුසම්මිල් කීවේය.
බංගලිදේශ අගමැතිනි ශික් හසීනා එහෙමත් නැත්නම් පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ ඒ රටවල අගමැති පදවියට පත්වූයේ කෙසේදැයි මුසම්මිල් ඇසුවේය. බංගලිදේශයත් පාකිස්තානයත් අසල්වැසි මුස්ලිම් රටවල්වේ. ඡන්දයද පැරදීමෙන් උකටලී වූ ෆෙරෝසා සිය සැමියාද සමග සිංගප්පූරුව බලා ගියාය. ඒ නිවාඩුවක් ගත කිරීම සඳහාය.

