කොළඹ නගරාධිපතිනියට විපක්‍ෂයෙන් ප්‍රශ්න වැලක්


(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ වර්තමාන පරිපාලනය යටතේ එහි සේවකයන් සහ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව මන්ත්‍රීවරු සහ ජනතාව අතර දැඩි සැකයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් එම නගර සභාවේ සේවකයන් සහ මාර්ග සංවර්ධන පිළිබඳව නගරාධිපතිවරියගෙන් සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු ලබන 21 වැනිදා පැවැත්වෙන මාසික රැස්වීමේදී ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටිති.

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු වන රෝයි බෝගහවත්ත මහතා සේවකයන් පිළිබඳව සහ මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මියගෙන් විමසීමට නියමිත අතර එහිදී ඔවුන් එම විෂයන් දෙක සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් සංඛ්‍යාව, සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් ලැබෙන ආකාරය, සේවකයන් බඳවාගැනීම් පිළිබඳ විස්තර සහ ශ්‍රම මිලදීගැනීම් පිළිබඳව එහිදී රෝයි බෝගහවත්ත මහතා විමසීමට නියමිතය.

කොළඹ නගර මහ නගර සභාව සතු මාර්ග පද්ධතියේ ප්‍රමාණය, එය නගර සභාවෙන් සහ පෞද්ගලික අංශයට හරහා නඩත්තු කරන ආකරය සහ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම් මෙන්ම ඒවා ප්‍රයෝජනයට ගැනීම් පිළිබඳව මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටියි.