කොළඹ ඉඩම් කාර්යාලයේ ලේඛන පුස් කාලා - වජිර අබේවර්ධන


කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, මෙම කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හදිසියේම එම කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. 
 
එම නිරීක්ෂණය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා සහ රෙජිස්ටාර් ජනරාල් නීල් ද අල්විස් මහතා ද සහභාගී වී සිටියහ. අමාත්‍යවරයා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණෙන බව එම කාර්යාලයේ නිලධාරීන් කිසිවෙකුත් දැන සිටියේ නැත.
 
එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
 
''ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ ලේඛන තවමත් ගබඩා කර තිබෙන්නේ පැරණි ක්‍රමයකට. මේවාට කිසිම ආරක්ෂාවක් නැහැ. 
 
ඇතැම් ලේඛන දුර්වර්ණ වෙලා පුස් බැඳිලා කොළ එහෙම ම දිරලා ගිහින්. කොළඹ තමයි ශ්‍රී ලංකාවේ වටිනාම ඉඩම් ටික තියෙන්නේ. ඒවා පුද්ගලයන් සතු ඉඩම්, සමාගම් සතු ඉඩම් ඇතැම් ඉඩම් සංවිධාන සතු ඉඩම් රජයේ ඉඩම් පවා තිබෙනවා. 
 
අපේ ජනතාව තම ජීවිත කාලය පුරා හරි හම්බකරපු උපයපු වටිනාම වස්තුව මේ.නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ මේවා ආරක්ෂා කරන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. මේ ගොඩනැගිල්ලේ තත්ත්වයත් ඉතාමත් කණගාටුදායකයි."