කොළඹ , කලුතර , ගම්පහ අධි අවදානම් කලාප - ඇඳිරිනීතීය දිගටම


( දිල්රුක්ෂි ග්‍රේරු )
 
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ  අධි අවදානම්  දිස්ත්‍රික්ක ලෙස  කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ.
 
එම ප්‍රදේශයන්හි ඇදිරීනිය  නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.
 
එමෙන්ම  අතවශ්‍ය සේවා  භාණ්ඩ  මහජනතාවට සැපයීම සඳහා එම භාණ්ඩ  නිවසටම  රැගෙනවිත් දීමට විශේෂ වැඩපිළිවෙළක් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර  එම සේවා හෙට (25) සිට ක්‍රියාත්මක වේ.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත. 

 ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගන්නා බව රජය කියයි.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.

 අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.