(සමන් පාලිත නානායක්කාර)
පැවැති වර්ෂාවත් සමග කොස්ලන්ද අම්පිටිකන්ද වත්තේ කන්දක කොටසක් සිකුරාදා(22) නාය ගොස් ඇති අතර පොළොව ඉරිතලා ගිලා බැස තවත් කොටසක් නායයාමේ දැඩි අවදානමක පවතින බව ප්‍රදේශවාසීහු කියති.
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ නිලධාරී වසන්ත කුමාර මහතා කියා සිටියේ මෙම නාය යාම සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විධිමත් පර්යේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා දැනුම් දී ඇති බවයි.
මේ වනවිටත් අක්කරයක පමණ කොටසක් නාය ගොස් ඇති බවත් තවත් අක්කර හතරක පමණ කොටසක් ඉරිතලා ගිලා බැස ඇති බවත් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අමුපිටිය දියගල මාර්ගද මෙම නායයාමට ගොදුරුව ඇති බැවින් පවුල් 300ක් පමණ වෙසෙන ජනාවාසයකට පිවිසුම් මාර්ගය අහිමිවීමේ අවදානමක් ඇති බවද පැවසේ.

