(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ භූමදානය කිරීම සඳහා අවසර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබදව ප්‍රසාදය පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
රටේ සංහිඳියාව පිළිබඳ සැළකීමේදී එය අතිශය වැදගත් තීරණයක් බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා සඳහන් කරයි.
එම නිවේදනයෙන් තවදුරටත් මෙසේද දැක්වේ.
"රජය ගත් මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරන ලද නිර්දේශයන් ද සැළකිල්ලට ගෙන සිදු කරන ලද තීරණයක් වන්නේ යැයි අප සංවිධානයේ විශ්වාසය යි. එය රටේ සංහිදියාව පිළිබඳව සැළකීමේදී අතිශය වැදගත් තීරණයකි. එමෙන්ම ආගමික හා වාර්ගික වෙනස්කම් පිටු දැකීමකි. සමස්තයක් වශයෙන් සැළකීමේදී විද්‍යාත්මක පදනමක පිහිටා ගනු ලැබූ තීරණයක් ලෙසද සැළකිය හැකිය.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශිත මෙම තීරණය එතුමන්ගේ දේශපාලනික පරිණතභාවය පිළිබද පැහැදිලි වන්නෙකි. එමෙන්ම මෑත කාලයේ රටේ සමහර ජන කොටස් අතර ගොඩනැගී තිබූ සිත්වේදනාවන් සමනය කිරීමට ගනු ලැබූ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකි.
සාධාරණ සාමාජයක් පිලිබදව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් කටයුතු කරන සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රජය ගත් මෙම තීරණය අතිශයින්ම අගය කරන අතර එය නොපමාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදවනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු" යැයි ද එහි දැක්වේ.

