කොල්ලකරුවෝ වෙඩි තබා පළා යති


ගම්පහ බැලුම්මහර කතුරුවත්තේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කන්නට ආ පිරිසක් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

කොල්ලකරුවන්ගේ පහර කෑමට ලක්වූ ව්‍යාපාරිකයා ද රෝහල් ගත කරනු ලැබීය.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා අද (25) සවස 7.30ට පමණ නිවසට පැමිණ ඇති බවත්, ඔහු නිවසේ ප්‍රධාන ගේට්ටුව අසළට එද්දී කොල්ලකරුවන් අල්ලාගෙන ඇති බවත්, ඉන් පසු නිවසට ගෙන ගොස් රන් බඩු හා මුදල් සොයා ඇති බවත් පොලිසිය කියයි.

ව්‍යාපාරිකයාගේ බිරිඳගේ ගෙළ බැඳි රන් මාලය කඩා ගත් කොල්ලකරුවන්ට නිවසේ තිබී කුඩා සේප්පුවක් හමුවී ඇති බව ද, එහි යතුර දෙන්නැයි ව්‍යාපාරිකයාට පහර දී ඇති බව ද, කොල්ලකරුවන්ගෙන් මිදී පළා ගිය ව්‍යාපාරිකයාගේ දරුවකුගේ කෑ ගැසීමට අසල්වාසීන් කිහිප දෙනකු පැමිණ ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

කළබලවූ කොල්ලකරුවන් වෙඩි තබා රුපියල් ලක්ෂයක් පමණ හා ව්‍යාපාරිකයාගේ කාර් රථයේ යතුර පැහැරගෙන පළා ගොස් ඇත. වෙඩි තැබීමෙන් අසල්වාසියකු වන ලක්ෂ්මන් රණවීර (50) තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය.

සිද්ධිය සැලවීමත් සමඟ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බද්‍රා කාලිංග සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ විමර්ශන ආරම්භ කළහ.

කොල්ලයට සැකකරුවන් පස් දෙනකු පමණ රතු පැහැති කාරයකින් පැමිණ ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.