කොරෝනා යැයි සැක විදේශීය යුවළක්-මඟ පෙන්වන්නෙක් හම්බන්තොට රෝහලට


(අනීෂා මානගේ)
 
දින කිහිපයක් තිස්සේ සැඟව සිටි බව කියන කොරෝනා ආසාධිත බවට සැකකරන විදේශීය ජාතික යුවළක් සහ ලාංකික මඟපෙන්වන්නෙකු රන්න කහඳමෝදර ප්‍රදේශයේ සංචාරක නවාතැන්පළක සිටියදී අද(19) හම්බන්තොට මහ රෝහල වෙත යැවීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් ගජධීර මහතා පවසයි.
 
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ යුක්‍රේන් ජාතික යුවළක් සහ රන්න ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟපෙන්වන්නෙකි.
 
දින හතරකට පමණ ඉහතදී මෙම විදෙස් ජාතික යුවළ රන්න ප්‍රදේශයට පැමිණ ඇති අතර මොවුන්ට මඟපෙන්වීම සඳහා පැමිණි පුද්ගලයා සමඟ එකම නවාතැන්පළක නවාතැන් ගෙන ඇතැයි නිලධාරීහු කියති.
 
මොවුන් උණ රෝගයෙන් පෙළෙමින් සිටීම හේතුවෙන් පෞද්ගලිකව ප්‍රතිකාර ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පොලිසියට කරන ලද දැනුම්දීම හේතුවෙන් කිහිපවරක් එම නිලධාරීන් නවාතැන්පොළට ගියද මොවුන් මඟහැර සැඟව සිටි බව නිලධාරීහු පවසති.