කොරෝනා මරණ තව 36ක් වාර්තා වේ


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (30) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1441 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ අතරින් 7 ක් ඊයේ (30) දිනයේත් සෙසු ඒවා මැයි 2 සිට 29 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

මින් හය දෙනකු නිවසේදී මියගොස් ඇත.

හැටන් ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක්, කදුරුවෙල ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි අයෙක්, ගාල්ලේ 69 සහ 78 වයස්වල හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්, හොරණ ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, මතුගම ප්‍රදේශයේ 83 සහ 86 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්, ගලගෙදර ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි අයෙක්, උතුරු කළුතර ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, කළුතර 86 හැවිරිදි කාන්තාවක් සහ 63 හැවිරිදි පිරිමි අයෙක්, අනුරාධපුර 68 හැවිරිදි කාන්තාවක්, හෙට්ටිපොළ ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි අයෙක්, බද්දේගම ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි අයෙක්, උඩලන්ද ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, කොළඹ 6 ප්‍රදේශයේ 56 වියැති කාන්තාවක්, යාපනයේ 88 හැවිරිදි කාන්තාවක්, මහනුවර 80 සහ 73 හැවිරිදි පිරිමි අය දෙදෙනෙක්, දකුණු කළුතර ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනමුල්ල ප්‍රදේශයේ 83 හැවිරිදි පිරිමි අයෙක්, රාජගිරිය ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මග්ගොන ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක්, බදුල්ලේ 62 හැවිරිදි පිරිමි අයෙක්, කට්ටුව ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවක්, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මරදන්කඩවල 70 හැවිරිදි පිරිමි අයෙක්, බලංගොඩ 70 හැවිරිදි කාන්තාවක්, රත්නපුර 70 සහ 58 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්, කහවත්ත ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, වටපොළ ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක්, කුරුවිට ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.