කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටන සඳහා ශක්තිමත් උපායමාර්ගයක් සැකසීම සඳහා ‘සාර්ක්’ රටවල නායකයන්ගේ සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තමන් යෝජනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 130කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර ඉන්දියාවේ 74 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ. ඉන්දියාවේ පළමු කොරෝනා මරණය ද අද (13) වාර්තා විය.
‘‘කොරෝනා වයිරසයට එරෙහිව සටන් වැදීමට ශක්තිමත් උපායමාර්ගයක් ඇති කළ යුතුයි. ඒ සඳහා ‘සාර්ක්’ ජාතීන්ගේ නායකයන්ගේ හමුවක් පැවැත්විය යුතු යැයි මා යෝජනා කරනවා. අපට විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තුළින් අපේ පුරවැසියන් සෞඛ්‍ය සම්පන්නව තබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තුළින් අපට ලෝකයට ආදර්ශයක් දෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ලෝකයක් සඳහා දායක වෙන්නත් පුළුවන්.
අපේ ලෝකය නව කොරෝනා වයිරසය වන ‘කෝවිඩ්-19’ එරෙහිව සටන් කරනවා. විවිධ ආණ්ඩු සහ රටවල් විවිධ මට්ටම්වලින් වයිරසයට එරෙහිව සටන් වදිනවා. ගෝලීය ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ. ඒ නිසා අපේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කළ යුතු’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
‘‘ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශිෂ්ට ක්‍රියාමාර්ගයක් යෝජනා කර තිබෙනවා. සාකච්ඡාවට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්. ඒ වගේම අපි ඉගෙනගත් දේවල් සහ හොඳම පිළිවෙත් අනෙක් රටවල් සමඟ බෙදාගන්නත් සාර්ක් සංවිධානයේ සාමාජික රටවලින් ඉගෙන ගැනීමටත් අපි සූදානම්. මේ දුෂ්කර මොහොතේ අපි සහයෝගයෙන් සහ එකමුතුව වැඩ කරමු. අපේ ජනතාව ආරක්ෂා කරගමු’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
055

