කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන රනිල්ගේ ප්‍රසාදය


නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
 
ඉන්දියාවේ ‘වියෝන්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

සෞඛ්‍ය සේවකයන්, යුද හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටින බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික අංශය සහ රටේ ජනතාව ඊට සහාය දක්වමින් සිටින බව ද කීවේය.
 
කෙසේ නමුත් උපකරණ ගෙන ඒමේදී ආණ්ඩුව අතින් ප්‍රමාදයක් වූයේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය. පරීක්ෂණ කට්ටල, මුඛ ආවරණ සහ ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) ගෙන ඒමේදී ආණ්ඩුව අතින් ප්‍රමාදයක් වූ බවත් ඒවා ජනවාරි මාසයේදී ගෙන්වීමට තිබූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
 
මේ වනවිට ඒවා ප්‍රමාණවත් පරිදි ලැබී ඇතැයි කී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ඇතුළු දැනට පනවා ඇති සීමා අර්ධ වශයෙන් හෝ ඉවත් කළ යැයි ද යැයි ද කීවේය. ඒ සඳහා ජර්මනිය සහ දකුණු කොරියාව මෙන් පරීක්ෂා කිරීම් (‘කොවිඩ්-19 පරීක්ෂා කිරීම්) කළ යුතු ද ඔහු කීය.
 
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගය මෙය යැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය.
 
‘‘දෙවැනි ලෝක යුද්ධය හෝ වෙනත් ඕනෑම යුද්ධයක් හෝ වේවා, අයි.එස්.අයි.එස්. සංවිධානය හෝ වේවා සතුරා කවුදැයි අපි දන්නවා. එහෙත් මේ වසංගතයේ සතුරා කවුදැයි අපි දන්නේ නැහැ’’ යැයි ද හෙතෙම කීය.
 
ගෝලීයකරණය උඩුපැත්ත අප දැක ඇතැයි ඩුබායි නුවර පැවැති ‘වියෝන් ගෝලීය සමුළුව – 2020’ දී තමා සඳහන් කළ බව කී වික්‍රමසිංහ මහතා දැන් අප එහි යටපැත්ත දකිමින් සිටින බව ද කීවේය. එය එතරම් වේගයෙන් පැමිණෙනු ඇතැයි කිසිවකුත් අපේක්ෂා නොකළ බව ඔහු පැවැසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව සියලු ආර්ථික දුර්වල වෙමින් තිබෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

‘‘අපි ඉන්නේ ඉතා දුෂ්කර ගෝලීය තත්ත්වයක. අපට කිසිදු ගෝලීය නායකත්වයක් නැහැ. එය අනෙක් ප්‍රශ්නය’’ යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
 
ලෝක නායකයන් මෙන්ම ජාත්‍යන්තර ආයතන සාමූහිකව අසාර්ථක වී ඇතැයි ඔහු කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ පෙරට පැමිණ ලෝක අර්බුදයක් අවස්ථාවේදී නායකයත්වය දිය යුතු නමුත් මේ අවස්ථාවේදී එය සිදු නොවන බවත් හෙතෙම කීවේය.
 
දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේදීත් 2008 වසරේ දී ආර්ථිකය පිරිහීමට ලක්වූ අවස්ථාවේදීත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙනුත් ලෝක නායකත්වයක් දක්නට ලැබුණු බව උදාහරණ පෙන්වාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
 
‘‘මේක ගෝලීය වසංගතයක්. ජාතික ප්‍රශ්නයක් නෙමෙයි. ගෝලීය වසංගතයකට අවශ්‍ය වෙන්නේ ගෝලීය ප්‍රතිචාරයක්’’ යැයි ද හෙතෙම පෙන්වාදුන්නේය.
 
ණය සම්බන්ධයෙන් චීනය සහ අනෙකුත් රටවල් ප්‍රතිපත්ති තීරණයක් ගත යුතු යැයි ණය සහන සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කීවේය.
 
‘‘අපට චීනයෙන් අහන්න පුළුවන්. චීනය හෝ වෙනත් රටක් වුණත් ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු’’ යැයි හෙතෙම කීය.
 
පාකිස්තානය චීනයෙන් ණය සහන ඉල්ලා ඇති බව සඳහන් කරමින් ‘වියෝන්’ පුවත් සේවය මාධ්‍යවේදිනිය එලෙස ණය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූවාය.
 
‘‘අපේ ණයවලින් සියයට 50ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් තමයි අපි ගන්නේ. එය තමයි අපේ ප්‍රශ්නය. ඉදිරි මාස කිහිපයේදීම අපි ඩොලර් බිලියන ගණනක් ගෙවන්න ඕනෑ. අපි එය අපේ සංචිතවලින් ගත්තොත් අපේ සංචිත පහළ යනවා. අලුත් මුදලක් කොහෙන්වත් එනවා පේන්නත් නැහැ. කලින් නම් අපි එය කළමනාකරණය කර ගත්තා. 

අපි දැන් ඉන්නේ ණය ගෙවීමේ මාර්ගයේ. රජය මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි ආදායම් මට්ටම් ඉහළ නංවා තිබෙනවා. එහෙත් එය ඉතා දුෂ්කර වේවි. අපි ඉන්නේ ලොකු අවුලක. මේ අවුරුද්දේ විතරක් නෙමෙයි ලබන අවුරුද්දෙත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ණය දෙන රටවල් ණයගත්තු රටවලට සහනයක් දෙන්න ඕනෑ’’ යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීවේය.

ඇඳිරි නීතිය පනවා ඇති මේ කාලයේදී විවේකී මොහොතේ කරන්නේ කුමක්දැයි විමසූ විට තමන් හින්දි චිත්‍රපට නරඹමින් සිටින්නේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදිනියට කීවේය. තමන්ට නැරැඹීම සඳහා හින්දි චිත්‍රපට නිර්දේශ කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ඇයගෙන් ඉල්ලීමක් ද කළාය.
 
055  
 

සබැඳි