කොරෝනා පාලනය කරන්න හදන්නේ අවුරුදු 120 ක් පරණ පනතකින්


(විනීතා එම් ගමගේ)

වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට පවතින නීති ප්‍රතිපදාන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

බෝවන රෝග මැඩපැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය යොදා ගන්නේ 1897 වසරේ මහාමාරිය මැඩ පැවැත්වීමට පැනවූ රෝග නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීම් හා රෝග බෝවීම වැළැක්වීමේ පනත බවත් එහි ප්‍රතිපදාන මෙවැනි වසංගතයක් මැඩපැවැත්වීමේ දී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සභාපතිවරයා කීය.

එකී පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව වසංගත පාලනයට අවශ්‍ය නීති සම්පාදනයට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලතල පවරා ඇතැයි පෙන්වා දුන් උපුල් රෝහණ මහතා වහාම මේ අවස්ථාවේ එම වගකීම ඉටුකරමින් අමාත්‍යවරිය නීති  හැදිය යුතු බවත් මේ පිළිබඳව ඇය නොදන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරින් විසින් ඇයව දැනුවත් කිරීම කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවැනි වසංගතයක් පාලනය සඳහා නීති සකසා ගන්නට කිසිදු පාලනයකට බැරි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. 

විශේෂයෙන් පවතින පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු අත්‍යවශ්‍ය ආයතන රැසකට ඍජු බලතල නැතැයි පෙන්වා දුන් උපුල් රෝහණ මහතා නව නීති සකසමින් අත්‍යවශය අංශවලට බලතල ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (17) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.