කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට දෙන්න රුසියාව සූදානම්


රුසියාවේ නිෂ්පාදනය කළ කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු තානාපති යූරි මැටේරි මහතා, නව රජයේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

කොරෝනා ප්‍රතිරෝධී එන්නත හඳුන්වාදීම පිළිබඳ යෝජනාව අමාත්‍යවරයාට දන්වමින් මැටේරි මහතා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකිකයන්ට භාවිත කිරීම සඳහා මෙම එන්නත ලබාදීමට රුසියානු තානාපතිවරයා කැමැත්ත පළ කළ බවද,  එය ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙරට අතර සබඳතා පවත්වාගන්නා ලෙස දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.

16844