(රංජන් කස්තුරි)
මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වැනි දින වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඡන්දය විමසීම පැවැත්වීමට රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක්වත් ගතවිය යුතු යැයිද ලංකාදීපය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
කෙසේ වූවත් මහ මැතිවරණය පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය හෙවත් ‘ග්‍රීන්ලයිට්’ එක අත්‍යවශ්‍ය බව ද හෙතෙම පැවසීය. මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසම ද සෑහීමකට පත්විය යුතු අතර, රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ සිවිල් සමාජ සංවිධාන ආදියේ අදහස් හා යෝජනා සලකා බැලීම ද අවශ්‍ය යැයි මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම මේ වනවිට ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකර ගෙන යමින් තිබෙන බව ද තැපැල් ඡන්ද අයැදුම්පත් බාර ගැනීම වැනි කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව ද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මහ මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්විය නොහැකි බවට කොමිසම මේ වනවිට තීන්දුවක් ගෙන නැති බවත් මැතිවරණ කොමිසම දින 10කට වරක්වත් රැස්වී රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සමාලෝචනය කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීය.
මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙසත් විනිවිදභාවයකිනුත් සිදුකළ යුතු අතර තරගය සමබිමේ පැවැත්විය යුතු වන බව මැතිවරණ කොමිසමේ විශ්වාසය වන බව ද දේශප්‍රිය මහතා පැවසීය. මැතිවරණයක් කල්දැමීම එතරම් හිතකර තත්ත්වයක් නොවන නමුත් සෞඛ්‍යමය අර්බුද විසඳාගත නොහැකි වූවහොත් අකැමැත්තෙන් වූවද මහ මැතිවරණයට වෙනත් දිනයක් තීන්දු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවන බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

