කොරෝනා ගැන සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පැතිරවූ දෙදෙනෙක් අත්අඩංගුවට


(ඩයනා උදයංගනී )

කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිර වූ දෙදෙනෙක් අද (16) අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොරෝනා වයිරසය ආසාදනය වූ තිදෙනෙක් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක් පළ කළ නිමින්ද ප්‍රියදර්ශන නැමැත්තෙක් බණ්ඩාරගම දී අද අලුයම 4.30 ට පමණත් දුෂ්මන්ත අමිල නැමැත්තෙක් රාගමදී පෙරවරු 11.00 ට පමණත් අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 ඔවුන් දෙදෙනාගෙන් අයෙක් රූපලාවණ්‍යගාරයකත් අනෙක් පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙසත් සේවය කරන බවද අජිත් රෝහණ මහතා කීවේය.

මෙම දෙදෙනා සම්බන්ධයෙන් පරිගණක අපරාධ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගත හැකි බව කී අජිත් රෝහණ මහතා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.


නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.