කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයාට ඇප


(නිමන්ති රණසිංහ)

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවට හානියක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.

මෙලෙස මුදා හැරියේ බණ්ඩාරගම පදිංචි නිමින්ද ප්‍රියදර්ශන නැමැත්තාය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරමින් ඒවා පුද්ගලයින් 4,999 ක් වෙත ෆේස්බුක් මගින් ප්‍රචාරය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මේ හේතුවෙන් සැකකරු පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප්‍රකාරව සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව වරදක් සිදු කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන සාමයට හානි පමුණුවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂ 5 ක ඇපයක් මත මුදාහැර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළාය.