කොරෝනා ගැන අනතුරු ඇඟවූ වෛද්‍ය ලීගේ බිරිඳට පුතෙක්


ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලොවට මුලින්ම අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියෑන්ගේ බිරිඳ පුතකුට උපත ලබා දී ඇත.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වෛද්‍ය ලී වෙන්ලියෑන්ග් අනතුරු ඇඟවූ අවස්ථාවේ දී ඔහු පොලිස් අත්අඩංගුවට ද පත්විය. වෛද්‍ය ලී ‘‘අසත්‍ය තොරතුරු’’ පතුරුවා හරින්නේ යැයි පොලිසිය මෙන්ම ඇතැම් බලධාරීහු ද චෝදනා එල්ල කළහ. වෛද්‍ය ලී ගේ බිරිඳි වන ෆු ෂූජී ‘‘වීචැට්’’ ඔස්සේ අලුත උපන් බිළිඳුන්ගේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කර තිබූ අතර ‘‘පුතු’’ තමන්ට වෛද්‍ය ලීගෙන් ලැබුණු අවසන් තෑග්ග යැයි ද සඳහන් කර තිබිණි.

වෛද්‍ය ලී ට ද, පසුව කොරෝනා වයිරසය ආසාදනය වූ අතර ඒ නිසා ඇති වූ සංකූලති හේතුවෙන් ඔහු මරණයට පත්විය.
අලුත් පුතුත් සමඟ වෛද්‍ය ලීගේ බිරිඳට දැන් පුතුන් දෙදෙනකි.

‘‘ස්වර්ගයේ සිටින ඔබට මෙය පේනවද ? ඔබ මට ඔබේ අවසන් තෑග්ගත් දුන්නා. මම ඔවුන් දෙදෙනාම ආරක්ෂා කරනවා. අපේ දරුවෝ දෙන්නටම මං ආදරෙයි’’ යැයි වෛද්‍ය ලීගේ බිරිඳ දැමූ සටහනේ දැක්විණි.

වෛද්‍ය ලීගේ මරණයත් සමඟ මහජනතාවගෙන් බලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධය හේතුවෙන් වෛද්‍ය ලී ගේ මරණයෙන් පසු ඔහුට ගෞරව ආචාර පිරිනැමීමට පියවර ගත් ආණ්ඩුව ඔහු ‘වීරයකු’ ලෙස නම් කළේය.

‘‘ලී කියන්නේ ඉතාම හොඳ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙක්. ඔහු පවුලේ හැමෝටම ආදරෙයි. හොඳ තාත්තෙක්. අපේ පළවෙනි පුතාට ලී ගේ මරණය සඟවන්න වුණා. අපි පුතාට කිව්වේ, තාත්තා රට ගියා කියලා’’ යැයි වෛද්‍ය ලීගේ බිරිඳ ප්‍රාදේශීය පුවත් සේවයක් වන ‘ලිචි’ පුවත් සේවයට කීවාය.

වෛද්‍ය ලී ගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ විවිධ සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන අතර නූපන් දරුවා ආරක්ෂා කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇත.

බී.බී.සී.

055