කොරෝනා අවදානම තවමත් තුරන් වී නෑ


(ඩයනා උදයංගනී)

කොවිඩ් අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බවත්, රට නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙක්ම වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉකුත් තෙදින තුළ විදේශයන්හි සිට පැමිණි අය අතරින් කොවිඩ් 19 ආසාදිතයින් 89 ක් හමු වී ඇති බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

සමාජය තුළින් අප්‍රේල් 30 වැනිදායින් කොවිඩ් 19 වයිරස ආසාදිතයින් හමු වී නැතත් විදේශ රටවලින් පැමිණෙන ලාංකීකයන් සහ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශකයින්ගෙන් වෛරසය දිවයිනට තුළට පැමිණිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

විදේශයන්හි සිට පැමිණි ආසාදිතයින් 210 දෙනෙකු මේ වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොඩිඞ් 19 ආසාදිතයින් 3,111 දෙනෙක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 1197ක් විදේශ රටවලින් පැමිණි අය වේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ විදේශවල සිට පැමිණෙන අය අතර කොවිඞ් ආසාදිතයින් ඉහළයාම නිසා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම ක්‍රමානුකූලව සිදුකිරීමට වන බවයි.

ලංකාව කොවිඞ් 19 විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශමත් රටක් බැවින්තවදුරටත් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත්සේදීම ආදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව ද ඇය කීවාය.