කොරෝනා අරමුදලට අබුඩාබියේ වෙසෙන ලාංකිකයෙක්ගෙන් ලක්ෂ 54ක්


(තිළිණි ද සිල්වා)

අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගෙන් ඉටුකම සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 54 ක මුදල් පරිත්‍යාගයක කල බව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අබුඩාබියේ සිරාජ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් රුසාන් ෆයිරෝස් මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඉහළ යමින් පවතින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් පැන නැගී ඇති හදිසි අවස්ථා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ හා මූල්‍ය ආධාර පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා එහි සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව , මොහොමඩ් රුසාන් මහතා ඉකුත් 03 වැනිදා මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මල්රාජ් ද සිල්වා මහතා විසින් කොවිඩ්-19 අරමුදල වෙත සිදු කළ එම මුදල් පරිත්‍යාගය සංකේතාත්මකව භාර දීම වෙනුවෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සහ මොහොමඩ් ෆයිරෝස් මහතා අතර අන්තර්ජාල හමුවක් සිදුවිය.

විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ උපකාරය මව්බිමට අත්‍යාවශ්‍ය මෙම ‍තීරණාත්මක මොහොතේ සිදුකළ මෙම නිර්ලෝභී පරිත්‍යාගය සම්බන්ධයෙන් වීරතුංග මහතා මෙම හමුවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් සිය බලවත් ප්‍රසාදය මොහොමඩ් ෆයිරෝස් මහතා වෙත පළ කළේය.