කොරියා යන්න තැරැව්කරුවන්ට හසු වෙන්න එපා



විනීතා එම් ගමගේ
 
දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන සංවිධානාත්මක කල්ලි කි‍්‍රයාත්මක වෙමින් පවතින බැවින් ඔවුන්ට අසු නොවන්නැයි ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලීමක් කරයි. 


එරට රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාගැනීම වෙනුවෙන් කිසිවෙකුටත් මුදල් දිය යුතු නැතැයි ද කාර්යංශය අවධාරණය කරයි.

 
කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය  අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර මෙකී ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීමේ ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලබන බවත්  මෙම රැකියා අවස්ථා සදහා දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයකුට කිසිදු බලපෑමක් සිදුකළ නොහැකි බවත් එම නිලධාරියා කීය. 


කොරියානු රැකියා පෙර විගමනික පුහුණුව ලබාදෙනු ලබන්නේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගන්නා සුදුසුකම්ලත් පුහුණු උපදේශකයින් විසිනි.


කොරියානු රැකියා අපේක්ෂිතයින්ට භාෂා පුහුණුව ලබාදීම සදහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නම්කර නොමැති අතර වගකීම්ද භාරදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය තව දුරටත් පවසයි.


එහෙයින් කොරියානු රැකියා ලබාදෙන බව පවසන පුද්ගලයින්ට හෝ කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනික පුද්ගලයින්ට හසුනොවන ලෙසත් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.