කොමිසමේ බලය ගත් පොලිස්පති පොලිස් අධිකාරීගේ වැඩ තහනම් කරයි


තරිඳු ජයවර්ධන
 
වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත  සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 
පොලිස් කොමිෂන් සභාව මගින් සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නොවන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි මුල් වරට අත්හිටවනු ලැබුවේ 2017 වසරේ දීය. වසරකට ආසන්න කාලයක් තිස්සේ වැඩ තහනම් කර ඇතත් චෝදනාපත්‍රයක් හෝ ලබා දී නැතැයි කියමින් ඒ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 ජනවාරි 18 වැනි දා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළේය. ඒ බව 2018 පෙබරවාරි දෙවැනි දා   නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට හා පොලිස්පතිට ලිඛිතව දැන්වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.
 
පොලිස්පතිවරයා කොමිෂන් සභා තීරණය ක්‍රියාත්මක නොකර ඇතැයි කියමින් එම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් එස් දිසානායක මහතා අප්‍රේල් නව වැනි දා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයට දෙවැනි වරටත් ලිඛිතව දැනුම් දීමෙන් පසු මැයි මාසයේ දී ප්‍රියදර්ශන හේරත් මහතා රාජකාරියේ පිහිටුවා ඇත.  
 
2009 සැප්තැම්බර් මස නව වැනි දා ප්‍රියදර්ශන හේරත් මහතා සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යළිත් වරක් ඒ මහතාගේ වැඩ තහනම් කර එම නියෝගය නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා තිබේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් 2016 වසරේ දී එවකට විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් අධිකාරීවරයාට අවවාද පත්‍රියාවක් ලබා දී තිබිය දී මෙම වැඩ තහනම් කිරිම සිදු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ  සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වුවත් තම කොමිෂන් සභාව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.  පොලිස්පතිවරයා මෙලස වැඩ තහනම් කිරීම ගැන එම පොලිස් අධිකාරීවරයා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බව ද එම නිලධාරියා කීවේය.
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථන විය.