රොමේෂ් මධුෂංඛ
මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කරන ලද කැණීම් වලදී බබා මෝටාර් නැමති විශාල උණ්ඩ දෙකක් සමඟ යුද උපකරණ තොගය මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අද (18) ගොඩ ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පුහුණු කොටි කඳවුරක් එම ස්ථානයේදී පවත්වාගෙන ගොස් ඇති බවට යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
මෙසේ හමු වූ යුද උපකරණ අතර කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බබා මෝටාර් යනුවෙන් හැඳින්වෙන මිලිමීටර් 81 සහ මිලිමීටර් 73 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි, ආර්.පී.ජී,උණ්ඩ එකයි, ටී.එන්.ටී. ස්ලැබ් එකයි, ටී.එන්.ටී. පෙට්ටියක්, මිලිමීටර් 73,81,122,85, වර්ගයේ මෝටාර් ෆියුස් එක බැගින්, එන්.ආර්.7 වර්ගයේ අත්බෝම්බයක්, ආර්.පී.ජී. උණ්ඩයක කොටස්, හඳුනා නොගත් අත්බෝම්බයක්, වර්ගයක් හඳුනානොගත් දුම් බෝම්බයක්, පැරා බෝම්බ කොටස් ඇතුළු යුද උපකරණ රැසක් හමු වී ඇත.