කොටි හොල්මන් තවත් මදි කියයි


ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මඬුල්ලේ සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳව ඇමෙරිකාව ඉදිරිපත්කිරීමට යන යෝජනාවලිය "කමකට නැති" බවට විදෙස් ගත කොටි සංවිධානයේ හිතවාදී කණ්ඩායම් මැසිවිලි දොඩති.

මෙම අදහස් පළකිරීමේ මුලිකත්වය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකවන බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සංවිධානය බවද එම වාර්තා ගෙනහැර දක්වයි.

ඔවුන් පවසන්නේ ඇමෙරිකාව ඉදිරිපත්කරන යෝජනාවලිය " ඔවුන්ගේ අපේක්ෂාවන් කිසිසේත් සපුරාලන්නේ නැති" බවය.

මෙම චෝදනාව පිළිබඳ කරුණු කාරනා පැහැදිලිකරදීම උදෙසා එම කණ්ඩායම බ්‍රිතාන්‍ය රජයේ සහ විරුද්ධ පක්ෂයේ සාමාජිකයින්  සමඟ කිහිපවතාවක්ම සාකච්ඡා කර ඇති බවද එම වාර්තා සඳහන් කර ඇත.

ඔවුන් පවසා ඇත්තේ මෙවර ඉදිරිපත් කෙරෙන යෝජානාවලියත් මීට පෙර අවස්ථාවල සම්මත කරන ලද යෝජනාත් අතර කිසිදු වෙනසක් නොමැති බවයි.  

"මෙවර ඉදිරිපත්කරනා යෝජනා වලියේ කියන්නේ ශ්‍රී ලංකා රජය තම රට තුල මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ඉදිරිපත්වී ඇති සියලු චෝදනා ගැන විමසා බලන විශ්වාසනීය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පියවර ගතයුතු බවත්, මේ ගැන තව වසරකින්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් නිරීක්ෂණයක් පවත්වනු ලබන බවත් පමණක්ය" යන්න බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය නගන මැසිවිල්ලයි.

මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව අවංක පරීක්ෂණයක් පැවැත්වීමේ දේශපාලනමය උවමනාවක් ශ්‍රී ලංකාවට නොමැතිබව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වන නවනීදම් පිල්ලේ ප්‍රකාශ කර ඇතිබවද" මෙම කණ්ඩායම පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව  "ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුබව" පවසා ඇතැයි පෙන්වා දෙන මෙම කණ්ඩායම මෙවර ඉදිරිපත්කර ඇති ඇමෙරිකානු යෝජනාවලියේ එවනි දෙයක් සම්බන්ධයෙන් "කිසිදු සඳහනක් නොමැති" බවට චෝදනා එල්ල කරයි.

කෙසේවුවද මේ ගැන අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ සමහර ශ්‍රී ලාංකිකයින් කියන්නේ "ඇමෙරිකානු යෝජනාවේ 74 වන වගන්තියේ කියවෙන්නේ මනාව හිමිකම් කොමසාරිස් වරිය ඉල්ලා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ද සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගතයුතු බව" ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකීමේ නීති රීති පිළිබඳවත්, මානව හිමිකම් උල්ලංඝනය සම්බන්දයෙන් වගකීම පැවරීමේ ක්‍රියාදාමයන් පිළිබඳවත් සොයාබැලීමට ක්‍රියා කළයුතු බව මෙම යෝජනාවෙහි සඳහන්වෙයි. මේ සඳහා ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පුර්ණ සහාය ලබාදිය යුතු බවටද යෝජනාවී ඇත.

මනාව හිමිකම් කොමසාරිස් වරිය යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා රජය "පුද්ගලයින් හෝ කණ්ඩායම් එකතුව විවිධ ජන කොට්ඨාස අතර වෛරය පැතිරවීමට උල්පන්දම් දීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති ගත කයුතු බවත්, සාක්ෂිකරුවන් සහ පැමිණිලි කරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත්, නිවැරදි අපක්ෂපාතී ප්‍රවෘත්ති දැනගැනීමේ අයිතිය තහවුරු කලයුතු බවත්, අතුරුදහන්වීම් සහ පැහැරගැනීම් පිළිබඳව දැනට වඩා විධිමත් අයුරින් පරීක්ෂණ පැවැත්විය යුතු බවටත් සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුකූල වන ආකාරයට ප්‍රතිශෝධනය කලයුතු බවත්" ය.

ත්‍රස්තවාදය මැඩලීමේ අනපනත් අවලංගු කලයුතු බවටද, සුළු ජන කොටස්වල සාමාජිකයින්හට, ජනමාධ්‍ය කරුවන් සහ මානව හිමිකම් සුරකීමේ සංවිධානයන්ට සම්බන්ද්‍ධ  අයට හිරිහැර කරන්නන් සඳහා නීතිමය දඬුවම් ලබාදීමට ක්‍රියා කළයුතු බවද කොමසාරි තුමිය යෝජනා කර ඇත.

ඇමෙරිකානු යෝජනාවලියේ පදනම වී ඇත්තේ මෙවැනි කරුණු බවද මෙසම්බන්ධ අදහස් දැක්වූවන් පවසති.

ඔවුන්ගේ අදහස වන්නේ  ශ්‍රී ලංකාව තුල  මෙන්ම විදෙස්ගතව ඉන්නා කොටි හිතවාදීන්ගේ අරමුණ මෙරට යළිත් වරක් අස්ථාවර තත්වයකට පත් කිරීම නිසා ජිනීවා සමුළුවට මොන යෝජනාවක් ගෙනාවත් ඔවුන් සැහීමකට පත් නොවන බවය.

එලෙසින්ම ඉන්දියාවත් බටහිර රටවල් කිහිපයකුත් ශ්‍රී ලංකාව කෙරෙහි මෙවැනි ආකල්පයකින් ක්‍රියාකිරීම පිටුපස ඇති ජාත්‍යන්තර දේශපාලන යතාර්ථය වටහා ගැනීමද මෙහිදී වැදගත්වන බවද, කොටි හිතවාදීන් ලවා කොස් ඇට බාවන පිරිස් එලෙස කරන්නේ ශ්‍රී ලංකාව බටහිර බලවතුන්ගේ අනපනත්  නොතකා චීනය වැනි අලුතින් ගොඩනැඟුණු රාජ්‍යයන් සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යාම නිසා විය යුතුබවද ඔවුන් පවසති.