කොටි සැඟවු රන් සොයන්න ගිය සිව්දෙනෙක් අත්අඩංගුවට


 
( සිතුම් චතුරංග)
 
කිලිනොච්චිය ප‍්‍රදේශයේ ස්ථානයක කොටි ත‍්‍රස්තවාදීන් විසින් වළදමා තිබෙන රත‍්‍රං තොගයක් සෙවීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන්කරමින් සිටි ව්‍යාපාරිකයින් සිව්දෙනකු ලෝහ ද්‍රව්‍ය හදුනාගත හැකි ස්කෑනර් යන්ත‍්‍රයක් සමඟ  අද (15) උදෑසන වවුනියාව නොච්චිමොටෙයි ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
 
එල්.ටි.ටි.ඊ සංවිධානයේ මූල්‍ය බැංකු තුල තිබූ රත‍්‍රං පසුගිය යුද සමයේ පලායන ත‍්‍රස්තවාදීන් විසින් කිලිනොච්චිය ප‍්‍රදේශයේ වළදමා සඟවා ඇති අතර එසේ සැඟවූ ස්ථානයක් පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව ව්‍යාපාරිකයන් රත‍්‍රං ගොඩගැනීම සඳහා මෙලෙස යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය. 
 
වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව නොච්චිමොටෙයි පාලම ආසන්නයේදී ක්ෂණික මාර්ග බාධක යොදා කළ වැටලීමකදී සුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණි සැකකරුවන් පිරිස හා ස්කෑනර් යන්ත‍්‍රය අත්අඩංගුවටගෙන තිබේ.
 
සැකකරුවන් ස්කෑනර් යන්ත‍්‍රය කොටස් කර ඔවුන්ගේ ගමන් මල්ලෙහි රෙදිපිළි සමඟ සූක්ෂම ලෙස සඟවා තිබූ බවද පැවසීය.
 
විශේෂ කාර්ය බලකාය පැවසූයේ අත්අඩංගුවටගත් ස්කෑනර් යන්ත‍්‍රය රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු අතර එම ස්කෑනර් යන්ත‍්‍රයට පොළව අභ්‍යන්තරයේ තිබෙන මැණික් , ලෝහ , රත‍්‍රං හා රිදී ඇතුළු  ඕනෑම ලෝහ වර්ගයක් වෙන්කොට හදුනාගැනීමේ හැකියාව පවතින බවයි.
 
අත්අඩංගුවටගත් ස්කෑනර් යන්ත‍්‍රය මෙරටට ගෙන්වීම නීතියෙන් තහනම් කොට ඇති අතර රෙගු නිලධාරීන් නොමගයවා සැකකරුවන් විසින් ස්කෑනර් යන්ත‍්‍රය මෙරටට ගෙනවිත් ඇති බවට විශේෂ කාර්ය බලකාය සැකපලකරති.
 
එල්.ටි.ටි.ඊ සංවිධානයේ රත‍්‍රං සෙවීම සඳහා තවත් පිරිසක් සම්බන්ධවී ඇතිදැයි සොයා විමර්ශන ආරම්භ කරන බවද කීය.
 
අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයින් පිරිස ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30, 40, 42, 43 අතර වයසේ පසුවන්නෝ වෙති.