කොටි වළ දැමූ රන් සොයන්න ආ 14 ක් අත්අඩංගුවට


( රොමේෂ් මධුෂංඛ)

යුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපබෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් ඇතුලු තවත් උපකරණ රැසක් සමගින් අද (27) අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
 
පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු  බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ශිවනගර් 7 වන පටුමග ප්‍රදේශයේදී සැකකරුවන් ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් රත්තරන් ගොඩ ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
එහිදී සුඛෝපභෝගී කාර් රථ 3ක්, අධි තාක්ෂණයෙන් යුත් ස්කෑන් යන්ත්‍රයක්, එම ස්කෑනින් යන්ත්‍රයට භාවිතයට කරන උපකරණ රැසක්, වීඩියෝ කැමරා, ෆෝකස් ලියට්, වයර් රෝල්, ලැප්ටොප් පරිගණක ඇතුළු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ යාපනය, මඩකලපුව, ත්‍රීකුණාමලය, ගලේවෙල, මුලතිව් පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මූලික පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරීක්ෂණ සිදුකරන පුදුකුඩඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පවසයි.

ඡායාරූප - සිතුම් චතුරංග