කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි


සිරාජ් හසීම්
 
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.
 
ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොටි සංවිධානය විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක සභාපතිවරයෙකු වන පෝල් නියුමන් මහතාට නගන ලද ප්‍රශ්නයකට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පිළිතුරු දීමත් සමග මෙම තත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.
 
ජිනීවා මානව හිමිකම් කවුනිසිලයේදී පැවති මෙම උප කමිටු රැස්වීම සදහා ජාත්‍යන්තර සහ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්,දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක්  ද සභාගී වී සිටිති.
 
මෙම රැස්වීමේදී දෙමළ නියෝජිතයින් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පිහිටුවා ඇති අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් කරන විමර්ශනයකින්     අතුරුදහන් වූවන්ගේ ගැටලුවට ස්ථීර විසඳුමක් නොලැබෙන බවයි. එමෙන්ම හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් මෙතෙක් නිදහස් කර නොමැති බවත් දේශපාලන විසදුමක් ගෙන ඒමේ වැඩපිළිවෙලද අඩාල වී ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද මෙතෙක් අහෝසි කර නැති බවත් ඩයස්පෝරා දෙමළ සන්ධාන පෙන්වා දී තිබේ.
 
එමෙන්ම පරණගම වාර්තාවට අනුව අතුරුදහන් වූවන් 24 000කුත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වාර්තාවන්ට අනුව 16000කුත් සිටින බවත් මෙලෙස අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබද සත්‍ය අනාවරණය කළ යුතු බවත් මෙහිදී පෙන්වා තිබිණි.‍