(බුද්ධික කුමාරසිරි)
කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ නිවසකට ඇතුළු වූ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳි පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි දෙදරු මවක් මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
නිවසට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා ගිනි අවි දෙකක්ද රැගෙන මිය ගිය කාන්තාව සොයා ඇති බවත් එහිදී ඇය දිව ගොස් සිය මවගේ ඇඟේ එල්ලී බේරිමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී එක් තුවක්කුකරුවකු විසින් තැබූ වෙඩිල්ලකින් ඇය බිම ඇද වැටීමත් සමග තුවක්කුකරුවන් දෙදෙනාම වෙඩි ප්‍රහාර 14 ක් පමණ ඇයට එල්ල කර ඇතැයි ද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අතුරුගිරිය ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් සිටියදී ඉකුත් ජනවාරි 17 වැනිදා එම රූපලාවන්‍යාගාරය තුළදී අතුරුගිරියේ බණ්ඩා නොහොත් ටනිල් බණ්ඩාර යන අය ඝාතනයට අනුබල දීම යන චෝදනා යටතේ රිමාන්ඩ් භාරයේ සිට නිදහස්ව පැමිණ සිටි මංජුලා සඳුනි නමැති 41 හැවිරිදි දෙදරු මවකි.
මිය ගිය කාන්තාව මීට මාස කිහිපයකට පෙර බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ මරන තර්ජන නිසා එක් එක් ප‍්‍රදේශවල රහසිගතව දිවි ගෙවා ඇති බවත් සිද්ධිය වූ දින නඩු කටයුත්තක් සඳහා කඩුවෙල අධිකරණයට ගොස් දරුවන් හා සැමියා සිටින කොට්ටාවේ නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

