කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කැරුණු පාසල් සිසුවාගෙන් සහකාර පොලිස් අධිකාරීවයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (02) රෝහලට පැමිණ පොලිස් පහරදීම් ගැන ප්‍රකාශයක් ලබා ගත්තේය.
පොලිස් පරීක්ෂකවරයකු අද (02) දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත් බවත්, නැවත සවස් වරුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ද රෝහලට පැමිණ පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් යතුරු ලියනය කර ගත් බවත් සිසුවාගේ සමීපතමයෝ කියති.
රෝගීන් බලන වේලාවේ පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් සිසුවා බැලීමට පැමිණි හිතවතුන් නම විමසූවිට ඔහු මුල් අවස්ථාවේ තමා කවුදැයි හඳුන්වා නොදීම නිසා බහින් බස් වීමක් ද ඇති විය. පසුව තමා ගම්පහ සහකාර පොලිස් අධිකාරී 2 ක්ලෙමන් ප්‍රනාන්දු ලෙස ඔහු අනන්‍යතාවය හෙළි කළේය.
සිසුවාට පහර දී ඇත්දැයි ප්‍රකාශයක් ගැනීමට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබුණු නිසා තමා පැමිණි බව සහකාර පොලිස් අධිකාරී ප්‍රනාන්දු මහතා කී විට නීතීඥවරුන්ගේ උපදෙස් ලැබෙනතුරු සිසුවාගේ ප්‍රකාශයට අත්සන් නොගන්නැයි හිතවතුන් ඉල්ලා සිටියේය. තමා ප්‍රකාශ ගන්නේ නීතීඥවරුන්ගෙන් නොව සිසුවාගෙන් බව සහකාර පොලිස් අධිකාරී කීවේය.
පොලිසියෙන් අමානුශික ලෙස සිසුවාට සලකා ඇති බවත්, සහකාර පොලිස් අධිකාරීවරයකු ද සිසුවා නිරුවත් කර බැණ වැදී ඇති බවත්, මේ නිසා පොලිසිය කරන දෑ ගැන විශ්වාසයක් නැතැයි කී සිසුවාගේ හිතවත්හු සාධාරණව කටයුතු කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලූහ.
තමා පැමිණියේ අසාධාරණයක් කිරීමට නොවන බව සිසුවාට කී සහකාර පොලිස් අධිකාරීවරයා සිසුවාගෙන් යතුරුලියනය කළ කොළය සම්පූර්ණයෙන් කියවා අත්සන් කරන ලෙස ඉල්ලා සිටි අතර සිසුවා එය කියවා අත්සන් කළේය.
ඉන් පසු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස පිටව ගොස් ඇත.
පාසල් සිසුවාගේ සහ එක්දරු පියාගේ ආරක්ෂාවට පොලිසියෙන් යොදවා ඇත.

